Subscribe in a reader

Wednesday, February 15, 2012

ආදරය + කියන තරම් වැලා කළුද ?

ආදරය... 
 

 ආදරය කියනේ බොහොම සුන්දර හැගීමක්.පෘතජ්ජන හිතක පහළ වෙන්න පුළුවන් උත්තරීතරම හැගීම තමයි ආදරය.එකිනෙකාට ආදරයෙන් තුරුලුවෙලා ගතකරපු නිමේශක මතකය............ හැම භවයකදීම එක්වෙන්න ලැබෙන්න කියලා හිතාගෙන විහාර මළුවේ කොනක පත්තු කරපු පහන්සිලේ ආලෝකය.........වික්ටෝරියා පාක් එකේ ගල් බංකුවක්‌ උඩ දිග ඇරිච්ච බත් පතේ රස............ තවමත් උණුහුම දැනෙන හාදුවැල් වල මිහිර....... අපි හුගදෙනෙක්ගේ මතකයේ තැන්පත්වෙලා තියෙනවා.නමුත් සමහරවෙලාවට අතීතය ඒ තරම්ම කාරුණික වෙන්නේ නැහැ.සංසාරේ පුරාවට හැම භවයකදිම පතාගෙන ආවයි කියලා හිතාගෙන පුරපු ආදරය සීසීකඩව බිදිලා විසිරිලා ගිය දුක්බර අතීත මතකත් අපි හුගදෙනෙක්ගේ හිත් අස්සේ හැංගිලා තියෙනවා. වැහි බිංදුවලින් රටා  අදින පාරදිගේ, පුංචි කුඩයකට ගුලිවෙලා ඇවිදින පෙම්වතුන් දැක්කම.............රතු පාට හැන්දෑවක මුහුදේ ගිලෙන ඉර දිහා බලාගෙන හීන අදින පෙමව්තුන් දැක්කම......... මතක්වෙන්න මතකත්, උනන්න කදුළුත් අපි හුගදෙනෙක් ගාව ඉතුරුවෙලා තියෙනවා.



ආදරය  ගැන විවිධ අය විවිධ නිර්වචන ඉදිරිපත් කරනවා.එක් පිරිසකට ආදරය කියන්නේ ආත්මගත බැදීමක්.තවත් පිරිසකට ආදරය කියන්නේ හුදු ලිංගික තෘප්තිය වෙනුවෙන් පවත්වාගෙන යන සම්බන්ධයක්.ඇත්තටම ආදරය කියන්නේ අධ්‍යාත්මික බැදීමක්ද? නැත්නම් කායික බැදීමක්ද ???.


ආදරය ඇතිවෙන්න ජීවින් තුල විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇති ආකර්ෂණය බලපානවය කියන ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ.නමුත් ආදරය කියන්නේ හුදෙක්ම ලිංගික ආකර්ෂණය මත පදනම් වෙච්චි දෙයක්ය කියලානම් අංකල් විස්වාස කරන්නේ නැහැ.අවංක ආදරයක මතක අපිව මහපොළවේ වලදානකන්ම අපේ හිතේ ඇදිලා තියෙනවා.ලිංගික අසාවල් නැතිවුනාය කියලා ආදරය නැතිවෙන්නේ නැහැ.කොහොම නමුත් ඇත්තටම ආදරය කියන්නේ අධ්‍යාත්මික බැදීමක්ද,කායික බැදීමක්ද කියන ඒක තීරණය වෙන්නේ එකිනෙකාගේ ආකල්ප මත. ඔබ හිතුවොත් ආදරය අධ්‍යත්මිකයි කියලා ආදරය අධ්‍යත්මිකයි. කායිකයි කියලා හිතුවොත් ඇත්තටම ආදරය කායිකයි.ආදරය අධ්‍යාත්මිකයි කියලා හිතන දෙන්නෙක් එකිනෙකාට ආදරය කලොත් ඔවුන් වාසනාවන්තයි.ඔවුන්ට පුළුවන් අධ්‍යාත්මික ආදරයක මිහිර විදින්න.ආදරය කායිකයි කියලා හිතන දෙන්නෙක් එක්කාසු වුනත් ප්‍රශ්නයක් නැහැ.ඒ දෙන්නගේ සැප ඒ දෙන්නා ගනීවි.නමුත් ආදරය අධ්‍යාත්මිකයි කියලා හිතන කෙනෙකුයි,කායිකයි කියලා හිතන කෙනෙකුයි අතර ඇතිවෙන සම්බන්ධකදී, අධ්‍යාත්මිකයි කියලා හිතපු කෙනාට ඉතුරුවෙන්නෙ වේදනාත්මක මතක ගොන්නක් විතරයි. 


  කියන තරම් 'වැලා' කළුද?


 අංකල් ආදරය ගැන ලිව්වේ ඊයෙට යෙදිච්ච වැලන්ටයින් ඩේ එක නිමිතිකරගෙන.සාමාන්‍යයෙන් පෙබරවාරී 4 නිදහස් දිනය කියලා නොදන්න ඈයොත් පෙබරවාරි 14 වැලා ඩේ එකය කියලා දන්නවා.කාලෙකට කලින්  වැලන්ටයින් උණුසුම උන්මාදයක් වෙන තරමටම සමාජයතුල වර්ධනය වෙලා තිබුනා.කොටින්ම වැලා ඩේ එක වෙනුවෙන් විහාරමහාදේවි උද්‍යානයේ සීල වියාපාරයක් පවා පැවත්වුනා.වැලා ඩේ එක වෙනුවෙන් බාලිකා විද්‍යාලවල විශේෂ සෝදිසි මෙහෙයුම් පවා පැවත්වෙනවා කියලා ඔය දරුවෝ දන්නවානේ.දැන්  වැලන්ටයින් උන්මාදයක් තරමට නැති වුනත් සියළුම ආදරවන්තයින් වැලා ඩේ එක සමරනවා.ඒ එක්කම හැම වැලා ඩේ එකකදීම වැලා කළුද? සුදුද? කියන ප්‍රශ්නයත් අපේ රටේ මතුවෙනවා.කට්ටියක් වැලා හොදයි කියද්දී තව කට්ටියකට වැලා නරකයි.මං ඉහත සදහන් කරපු සීල ව්‍යාපාරයත් වැලාට විරුද්ධව සංවිධානය කරපු එකක්.මේ පාරත් මුහුනුපොතේ එහෙම වැලාට විරුද්දව විවිධ මත පලවෙනවා අංකල්  දැක්කා.වැලාට විරුද්ධව නැගෙන ප්‍රධාන චෝදනා 2ක් තියෙනවා.

1.වැලන්ටයින් යනු වෙළෙන්දන්ගේ දිනයක් බව.
2.(අ).විව්ධ පුද්ගලයන් තමුන්ගේ පෙම්වතිය විනාශ කිරීමට වැලන්ටයින් දිනය යොදා ගන්නා බව.
   (ආ).සමහර තරුණියන් තරුණයන්ගේ දත ගැලවීම සදහා  වැලන්ටයින්දිනය යොදාගන්නා බව.

 වැලන්ටයින්දිනය වෙළෙන්දන්ගේ දිනයක්'ය යන්න සත්‍යයක්.නමුත් අප ජිවත් වෙන්නේ වෙළද ලෝකයක බව අපි අමතක කරන්න නරකයි.වෙසක් දිනය නත්තල් දිනය වැනි ආගමික දින පවා වෙළද අරමුණු වෙනුවෙන් යොදාගන්නවා.වැලා ඩේ එකට වඩා වැඩියෙන් එවැනි දින විකුණනවා.ඉතින් වෙළද අරමුණු වෙනුවෙන් යොදාගත්තාය කියලා වැලාට දොස් කියන්න බැහැ කියලයි අංකල්ගේ අදහස.

දෙවැනි කාරණයත් සතයක්. තමුන්ගේ කෙල්ලගෙන් සැපක ගන්න බලාගෙන ඉන්න උන්ට වැලා ඩේ එක හොද අවස්ථාවක්.මොකද පෙම්වතියකට "වැලා ඩේ එකේදී ටුවර් එකක් යන්" කියලා තමුන්ගේ පෙම්වතා ඉල්ලන ඉල්ලීම අහක දාන්න බැරි හින්දා.වැලා ඩේ එක වෙනුවෙන් හුගක් පෙම්වතුන් ටුවර් එකක් යනවා.  
ගෙදරට හොරෙන් ලව් කරන උන් 14 වෙනිදා ටුවර් යන්නේ නැහැ.මොකද වැඩේ පත්තු වෙන්න ඉඩ තියෙන හින්දා.හුගක් වෙලාවට එහෙම උන් ටුවර් යන්නේ පෙර වැලා ඩේ එකේ හෝ පසු වැලා ඩේ එකේදී. ඒ කිව්වේ 13වෙනිදා හරි 15 වෙනිදා හරි.කොහොම වුනත් බිදෙන රළ දිහා බලාගෙන හීන අදින්න, පුංචි හාදුවක් හුවමාරු කරගන්න,උකුලේ නිදා ගන්න,අත බලලා සාස්තර කියන්න,තඩි බලන්න, ලේඩි හුරන්න මුහුදු වෙරළකට හරි පාක් එහෙකට හරි යන්නේ නැතුව රූම් එහෙකට හරි ගුබ්බෑයමකට හරි යන්න තමුන්ගේ පෙම්වතා කතාකරනවානම් ඌ එන්න හදන්නේ මොකාටද කියලා තෙරුම් ගන්න බැරි බබ්බු අද කාලේ ඉන්නවය කියලා අංකල් හිතන්නේ නැහැ.මුහුදු වෙරළේත්, පාක් වලත් හරි හරි දේවල් සිද්දවෙනවා.ආදරය කරද්දී යම් තරමකට සිප වැළද ගැනීම් අවශ්‍යයි.නමුත් තමුන්ගේ ලිම්ට් එක තමුන් දැනගන්න ඕන.ඉතින් සමහරු තමුන්ගේ ආසාවල් පිරිමහා ගන්න වැලා ඩේ එක යොදාගත්තත් ඒක වැලාගේ වැරද්දක්ය කියන්න බැහැ.එහෙම උන්ට කැල්ලක් රූම් එහෙකට දක්ක ගන්න වැලා ඩේ එක එනකම් බලං ඉන්න ඕන නැහැ.වැලා ආවත් නාවත් උන්ගේ වැඩේ උන් කරගන්නවා.

සමහර  කෙල්ලොත් තමුන් මඩවන කොල්ලන්ගෙ දත ගලවන්න වැලා ඩේ එක යොදා ගන්නවා.ඔයා මට වැලා ඩේ එකට මොනාද අරන් දෙන්නේ කියලා එක එක සුකුරුත්තම් දැන්මම සමහර හරක් වෙස්සන්තරලා වෙනවා.ඉතින් ඔය වගේ අම්මණ්ඩිලාටත් වැලා ද නැද්ද නැහැ උනුත් ඕන දවසක ගලවන්න ඕන දත ගලවනවා.ඒ නිසා එකටත් වැලාට දොස් කියන එක වැරදියි.ගලන ගඟකින් අත පය හොද ගත්තට,බැහැලා නා ගත්තට ගඟ අයිතිකරගන්න හිතන්න එපාය කියලා තමයි අංකල් කොල්ලන්ට දෙන උපදේසය.


ඇත්තටම ආදරය කියන්නේ අධ්‍යාත්මික බැදීමක් දරුවනේ.ඒ වගේම ආදරය කියන්නේ බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්.දකින දකින එකාට ආදරය කරන්න යන්නේ නැතුව තමුන්ගේ ආදරයට වටිනාකමක් තියාගන්න ඔය දරුවෝ වගබලාගන්ට ඕන.තමුන් ආදරය කරන එකා ආදරය කරන්නේ තමුන්ගේ හිතටද ගතටද කියන එක ගැන ගැනු දැරිවියෝ අවධානයෙන් ඉන්ට ඕන.(කිස් නොදී ඉන්ට එපා ඈ.. :D  සීමාවක් තියාගන්න)

හැබෑ අධ්‍යාත්මික ප්‍රේමයක සුවය ලැබීමේ වාසනාව ඔය දරුවන්ට ලැබේවා කියලා අංකල් ප්‍රර්ථනා කොරනවා.ඒ වගේම ප්‍රමාද වෙලා හරි ඔය දරුවන්ට හැපී වැලන්ටයින් මෙව්වා එකක් වේවායි කියලත් ප්‍රර්ථනා කොරනවා.

20 comments:

  1. //කිස් නොදී ඉන්ට එපා ඈ.. :D//

    හි හි.....

    අංකල් කියපුවට එකඟයි...නිකන්ම කායික බැඳීමෙන් එහා ගියපු අධ්‍යාත්මික ආදරයක් තියෙන්නේ මිනිසා වගේ උසස් සත්වයින්ට පමණයි මම හිතන්නේ. ඉතින් අපි මිනිස්සුනේ...නේද

    කියන තරම් වැලා කළු නෑ කියලයි මටත් හිතෙන්නේ...අංකල්ටත් හැපී වැලන්ටයින් ඩේ එකක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් දුවේ.අධ්‍යාත්මික ආදරය මනුෂ්‍යයන්ට විතරක් උරුම වෙච්චි දායාදයක්.

      ඇවිත් ගිය එක ගැන සන්තෝසයි දරුවෝ...

      Delete
  2. ඒ දේ අද්යත්මිකව යන කායික බැඳීමක්.

    අංකල් මායා කිවුවම කොලොප්පන් වෙලා ගියා වගේ. මායා කියන්නේ ගෑණු නමක් නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් දරුවෝ.ආදරේට ලිංගිකත්වය සම්බන්ධයි.දරුවෝ දෙමව්පියන් කෙරෙහි දක්වන ආදරයටත් ලිංගිකත්වය බලපානවාය කියලා ඔය විද්වත්හු කියන කට්ටිය කියනවා නෙව.කොහොම වුනත් හැම දෙයක්ම තීරණය වෙන්නේ එක එක්කෙනාගේ ආකල්ප මත.

      අංකල් මායා නෙවේ කොළුවෝ!!.අංකල් මයා. මයා කිව්වේ මහත්මයා.අංකල් මහත්මයා.

      Delete
  3. හරිනේ මම වරදියටනේ කියවල තියෙන්නේ.ආපු පලවෙනි දවසෙමේ නොන්ඩි වුනා වගේ.අංකල් මහත්තයෝ..

    ReplyDelete
  4. හෙහ්.. හෙ..:D .වරදින්නේ මනුස්සයින්ටනේ දරුවෝ.මේ පැත්තේ ආපු එකගැන සන්තෝසයි පුතේ...

    ReplyDelete
  5. ගතට ආදරේ කරලා හොඳනං තමා දැං ගොඩක් උන් හිතට ආදරේ කරන්නේ.....

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න අම්මණ්ඩිලාගේ සයිස් එක දන්න හින්දා ගොඩක් කොල්ලෝ එක පාරට සිරා කරන්ට බයයි.(නරක කොල්ලො නැහැ කියනවා නෙවේ.)

      කොහොම උනත් සම්බන්ධයක් ඇති වෙච්ච පමණින්ම අධ්‍යාත්මිකයි කියලා බදාගන්නෙ නැතුව.කොළු බාසාවෙන් කියනවානම් සිරා නොකර ටික කාලයක් අස්සරේ කොරන එක තමා හොද.

      Delete
  6. ඔන්න මාත් වැරදිලා ආවා අංකල්ගෙ මෙව්වා එකට.

    අනේ මන්දා ඉතිං ඔය කොච්චර අධ්‍යාත්මිකයි කිව්වත් කවුරුවත් ලව් කරන්න ආච්චි කෙනෙක් එක්ක හරි සීයා කෙනෙක් එක්ක හරි සෙට් වෙන්නෙ නෑනෙ.කොහොම හරි ට්‍රයි කරලා හොයාගන්නෙ ලිංගිකව පරිණත වෙච්ච සහ තවමත් ලිංගිකව සක්‍රීය කෙනෙක් නෙ.සහ අනිවාර්යයෙන්ම වගේ විරුද්ධ ලිංගිකයෙක්.මේ කියන සාධක සම්පූර්ණ නැති උනාම අපි කියනවා ඒක අසම්මත ප්‍රේමයක් කියලා.ඔය කියනවා වගේ ඕක අධ්‍යාත්මිකනං සමලිංගිකයින්ට අපහාස කළ යුතු නෑනෙ.

    ප්‍රේමය කියන එකට මම හිතාගෙන ඉන්න පොඩි සූත්‍රයක් තියෙනවා.

    ප්‍රේමය = ආදරය + ලිංගිකත්වය

    ආදරය කියන්නේ ඕනෙම පුද්ගලයින් දෙන්නෙක් අතරේ ඇතිවන බැඳීමක්ය කියලා නිර්වචනය කළොත්, ඒ කියන්නෙ යාලුවෙක් එක්ක, නෑදෑයෙක් එක්ක වගේ ඕනෙම කෙනෙක් එක්ක ඇතිවන් බැඳීමට.

    ඒ ටික ඇරුනාම ඔන්න අංකල් කියපු අනිත් ටිකට මම එකඟයි.වැඩ කාරයාට දවස මොකක් උනත් එකයි.ඌ උගේ වැඩේ කරගන්නවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා පුතේ..

      මෙහෙමයි පුතේ. ලිංගිකත්වයකින් තොරව ආදරයක් ඇති වෙන්නේ නැහැ.නමුත් ලිංගිකත්වය එක් සාධකයක් පමණයි.ලිංගිකව සක්‍රීය නැති අය( වයස්ගත අය) අතරත් ආදරය ඇති වෙනවා.ඒ වගේම පවතිනවා.වයසට ගියාය කියලා ආධ්‍යාත්මික ආදරය මැරෙන්නේ නැහැ.කායික ආදරයනම් වයසත් එක්ක නැතිවෙනවා.කොහොම නමුත් ආදරය අධ්‍යාත්මිකයිද කායිකයිද කියන එක තීරණය වෙන්නේ අපි ඒ දිහා බලන විදිය අනුවයි පුතේ. ආදරය දිහා අධ්‍යාත්මික දෙයක් විදියට බලන හින්දා අංකල්ට ආදරය ආධ්‍යාත්මිකයි.

      Delete
  7. අංකල්.... මාත් ආවා...

    ReplyDelete
    Replies
    1. අහ් !! සාදරයෙන් පිලිගන්නවා දුවේ..

      ඔය ඉඩ තියෙන තැනක් බලලා ඈදි ගත්තනම්... තේ ඩිංගක් බොනවැයි ???

      Delete
  8. දිග කොමන්ට් ඕන නැහැ කෙටියෙන්ම කිව්වොත් ආදරය කියන්නේ ආද්යාත්මික බැදීමක්.

    ReplyDelete
  9. ඔව්.ඔබ එ විදියට හිතනවානම් අනිවාර්යයෙන්ම ආදරය කියන්නේ ආද්යාත්මික බැදීමක්..

    ReplyDelete
  10. ඔන්න මාත් අද ඉදන් ඉන්නවා... අන්කල් එක්ක...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා දරුවෝ..

      Delete
  11. ආදරය කියන්නේ තන්හාවක්, තමන් අයිති කරගත්ත දේයක් වෙන කාට හරි අයිතිවෙයි කියන බයට බදාගෙන ඉන්න දෙයක්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක අපුරු අදහස පුතේ.බුද්ධ ධර්මය පැත්තෙන් දෙන්න පුළුවන් නිර්වචනයක්.එකගයි සම්පුර්ණයෙන්ම..

      Delete
  12. ආදරය කියන දේ නිර්වචනය කරලා ඉවරයක්‌ කරගන්න බැරි දෙයක් කියලයි මගේ හැඟීම
    ඔන්න මමත් ආවා මේ පැත්තේ :)

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා දුවේ :)

      ආදරය විතරක් නෙමෙයි ජිවිතේ හුගාක් දේවල් නිර්වචනය කරලා ඉවරකරන්න අමාරුයි දරුවෝ

      Delete

මෙන්න විශේෂ දීමනාවක් !!!
ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...