Thursday, August 9, 2012
අපේ සියැටල්ගේ කතාව
මේක ඇහැ ගැටුනේ ඊයේ. දැක්ක ගමන් බ්ලොග් එකේ දාන්න ඕනේ කියලා අංකල් හිතාගත්තා. මොකද අංකල් පරිසරේට බොහොම ආදරේ කොරන මනුස්සයෙක් හින්දා. නමුත් අද, ලෝක ආදිවාසී දිනයේම මේක දාන එක වැදගත් කියලා හිතුන නිසා කඩිමුඩියේ දාන්නේ. මේ වෙලාවේ අංකල් හරිම කාර්යයබහුලයි. ඒ නිසා අංකල්ගේ කොලම| ෆේස් බුක් පිටුවට ලියාපු පොස්ට් එකම කොපි පෙස්ට් කොරනවා. මයේ දරුවෝ කියෝලා බලන්ටකෝ :)
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල් පිළිබධව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. ඔහු ඇමරිකානු ජනාධිපතිවරයා වෙත ලියු ලියමනෙහි පරිසරය සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසා අදත් ලෝකයේ සම්භාවනාවට පත්‍ර වනවා. නිසැකවම ඔබත් ඒ ලිපිය කියවා ඇති. ඔබත් ඔහුව අගය කරන්න ඇති.
මතු දැක්වෙන්නේ අපේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් විසින් 2009 වර්ෂයේ කරන ලද කතාවක්.එයත් සියටල්ගේ ලියමනට දෙවැනි නැහැ. කරුණාකර කියවා බලන්න. ඔහු විසින් මතු කරනා කාරණාවල කොයි තරම් සත්‍යයක් ගැබ් වෙලා තියෙනවද කියා.
♣ ♣ ♣ __ ♣ ♣ ♣ __ ♣ ♣ ♣ ♣ ♣ ♣ ♣ __ ♣ ♣ ♣ ♣ ♣ __ ♣ ♣ ♣
(දෙසැම්බර් 23 හා 24 දෙදින මහනුවරදී ස්වීඩන් සමුපකාර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවති ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ශ්‍රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ කළ දේශනය ඇසුරින් සකස් කළේ සිසිර යාපා විසිනි.)
මගේ වයස අවුරුදු 62 යි. මේ 62 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ
ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර
තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.
එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ.
මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.
අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි
ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.
ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි
සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට
නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.
ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ
ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැඩ තැනක්ම, හැම
දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා
සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති
වුණා.
අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට
හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.
අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. අපි දඩයම් කළෙත් ක්‍රමේකට. කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්
ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම.
අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.
අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක
තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.
මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමත් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.
"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.
ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ
අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා. පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා.
මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.
මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. කහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.
දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන
විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.
දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි.
මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නොකර තමන්
කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.
මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට,
වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු
_____| W3Lanka බ්ලොග් අඩවියෙන් උපුටා ගැනීමකි. |_______
♣ ♣ ♣ __ ♣ ♣ ♣ __ ♣ ♣ ♣ ♣ ♣ ♣ ♣ __ ♣ ♣ ♣ ♣ ♣ __ ♣ ♣ ♣
ලෝක ආදිවාසීන්ගේ අන්තර් ජාතික දිනය අද (09 වැනිදා) ට යෙදී තිබේ. අද වනවිට එම ප්‍රජාව මිලියන 300 ක් හෙවත් ලෝක ජනගහනයෙන් 4% ක් නියෝජනය කරයි.
___________________________________________________
අංකල්ගේ කොලම් පොජ්ජට හිත්ලාලා තවත් මේ වගේ කතා පොජ්ජවල් බලන්න.
යාළු හුරන්ට බලන්න ▐ SHARE▐ පොජ්ජ මන්දු කරන්න. ( ෆේස් බුක් පිටුවට යන්න )
▬
Labels:
කාලින,
වර්ගීකරණය නොකළ
Subscribe to:
Post Comments (Atom)

සිරාම කතාවක් මේක මම කියවපු..
ReplyDeleteජයවේවා අංකල්!!!!!!
ඔව් පුතේ මමත් පරිසරය සම්බන්ධව කියෝපු වටිනාම ලිපිවලින් එකක්
Deleteඇත්තටම ගොඩක් වටින කතාවක් මේකනම්..
ReplyDeleteමේ කතාව වෙන කවුරු හරි ලව්වා සකස් කරගෙන කීවද දන්නේ නැහැ පුතේ. අපේ දෙස පාලුවෝ වගේ.
Deleteමේක එතුමා විසින්ම හිතලා කියපු කතාවක් නම්, වැදී ජනතාව වාසනාවන්තයි ඔහු වගේ නායකයෙක් ලබන්න. හ්ම්ම්
අපුරු කතාවක් අන්කල් ..
ReplyDeleteඅපුරු විතරක් නොවේ පුතේ වටින කතාවක්.... බොහොම වටින කතාවක්...
Deleteමේකනම් නියමයි අන්කල්. ලෝක ආදී වාසීන්ගේ දිනයක් තියනවයි කියලා මම දන්නේ අද..
ReplyDeleteඅපේ අප්පෝ, ආදිවාසීන්ගේ ලෝක සමුළුවක් හිටං තියනවා නෙව දුවේ. ඔය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව තියන්නා වාගේ
Deleteමරු....
ReplyDeleteඑහෙනම්..
Deleteපට්ට
ReplyDeleteනැතුව..
Deleteනියමයි අංකල්..
ReplyDeleteඒක නෙව
Deleteශා... ගොඩක් වැදගත්, වටිනා ලිපියක්.... අපිට සියැටල්ගේ කතාව තිබ්බා ඉංග්‍රීසි සාහිත්‍යට...ඒක මතක් වුණා මට...
ReplyDeleteහ්ම්ම්ම් මට උහුලන්න බැරි මේ කරන පරිසර විනාසේ දුවේ :(
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක් අංකල්
ReplyDeleteස්තුතියි දරුවෝ :)
Deleteඅප්පේ නොදන්න කොච්චර දේවල් තියෙනවද?අදමයි ආවේ.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/