Subscribe in a reader

Monday, April 22, 2013

වෙසක් පොහොය දිනයේදී තොරණ සහ වෙසක් කලාප තහනම් කරනු. එත් ඇයි ?



කොහොමත් රෑට ලස්සන කොළඹ පාට ලයිට් වලින් වැහිලා සුරපුරක සිරිගද්දී... බෙග් මාස්ටර්ගේ සිංදුවකින් කණ පුරවන් ඉස්සරහටම ඇවිදන් යන ඔයාගේ මුහුණ තෙමපු වතුර තුවක්කුවේ අයිතිකාරයා මම වෙන්න පුළුවන්... සමහරවිට ඔයා පහුකරන් ආපු බොන්ගෝ එකක් ගහගෙන පිස්සු නටන කොලු රෑන අතරේ මම ඉන්න පුළුවන් .... එහෙමත් නැත්තම් කණ ගාවම හඬ තලපු සැර නලා සද්දේට තිගැස්සුණු ඔයා ගෙදර යනකම්ම අපේ අම්මව මතක් කරන්නත් ඉඩතියෙනවා... :D

මැයි මාසේ පටන් ගත්ත ගමන් සී.ආර් පොතක් උස්සන් ගමවටේ යන එකයි වෙසක් උත්සවය වෙනුවෙන් අපි හා හා පුරා කියලා ඉෂ්ඨ සිද්ධ කරන කාරණාව... ඊට පස්සේ සල්ලි එකතු කරන්න යන දවස් ටිකේ දෙයියනේ කියලා සයිවර් කඩෙන් කොත්තු කන්න පුළුවන්.. පිං අතේ වැඩක් කරන්නත් හයිය හත්තිය තියෙන්න එපැයි... නොකා නොබී කොහොමද :D

සිල වීයාපාරේට දානේ බාර ගන්න කියලා ඉස්කෝලේ පන්තිබාර මැඩම් රුපියල් දහක විතර දඩයක් දාන එකයි... දහම්පාසලේ කුඩු තරෙගට කුඩු හදන්න පන්සලේ නයිට් ගහන එකයි අනුපිළිවෙලට එනවා... කිව්වට මොකද මං නම් අටපට්ටමක්වත් හදන්න දන්නේ නැහැ.. අමාරුවෙන් නෙළුම් මලක් හැදුවත් ඒක නිකන් පිසාහි ඇලවෙන කුළුන වගේ.... හැබැයි ඉතින් දහම් පාසලෙයි ඉස්කෝලෙයි කුඩු තරඟවලින් දෙවැනි තැන දිනලා තියේ.. සෙටිපිකට් එකත් තියෙනවා ගෙදර.. මගේ අවංක අතිජාත මිත්‍රයෝ උන් හදපු ඒවාට මගේ නමත් දැම්මා... කුඩු හදද්දී මං උන්ට ජෝක් කර කර වද දුන්න විතරයි :) දහම් පාසලේ තරගේදිනම් සල්ලිත් හම්බවුනා ^_^


දුක් මහන්සියෙන් දන්සලෙන් හම්බකරපු සල්ලිවලින් ගත්තු වතුර තුවක්කු, නලා , ලේසර් ලයිට් වලින් සන්නද්ධ වෙන අපි වෙසක් දවස් හතම කොළඹ වෙසක් සිරි විදිනවා... අනිත් මිනිස්සුන්ටත් වින්දවනවා... අපි වගේ කොලු රෑන් ගොඩක් කොළඹ වෙසක් බලන ඔබට මුණගැහේවි.. සමහරවිට මාවත්.... :) ඒත් ගොඩක් වෙලාවට ඔබ පවුලේ උදවිය සමග හෝ පෙම්වතිය සමඟ යනවා නම් මේ කොලු රංචු නිසා ඔබ පිඩාවට පත්වේවි... සමහර වේලාවට ඉතාමත් අසික්කිත විහිළුවලට මුහුණ දීමට සිදුවේවි... තට්ටම් යුගලය දැඩිලෙස හිරවෙන කලිසමක් ඇදපු ඔබේ පෙම්වතිය හෝ ඔබ* (*ඔයා ගැල් ළමයෙක් නම් ) පබළු තුවක්කුවකින් පිටවුනු උණ්ඩයක් නිසා උඩ පනින්නට ඉඩ තිබෙනවා... ඇත්තෙන්ම කොච්චර පං ගත්තත් අසික්කිත අමානුෂික විහිළුවලට මගේ කැමැත්තක් නැහැ.. මාත් අම්මා කෙනෙක්ගේ පුතෙක් නිසා... හැබැයි ඉතින් නංගෝ මට සෙට් වුනොත් වතුර තුවක්කුවකින් නම් මුහුණ හෝදනවා ඈ.. පොඩි කාලේ ඉදන් මං ගොඩක් ආස විනෝදාංශයක් ඒක.



මං ඉපදුනු දවසේ ඉදන්ම කොළඹ වෙසක් එහෙමයි... ඉස්සරනම් එළි වෙනකම් බක්කෝ නටපු හැටි ඔබට මතක ඇති.. ඇයි හොල්මන් මන්දිර.... ඒවානම් ආණ්ඩුවෙන් තහනම් කරා.. හොද තීරණයක්... පැය භාගයක් දන්සල දීලා ඒ පැය බාගේ සින්දු කියපු බෙග් මාස්ටර්ව පැත්තක දාලා එළි වෙනකම් බිලා නටන්න පුරුදුවුනු සංස්කෘතියක් තමයි අපට ඉතුරු වෙලා තියෙන්නේ...

ඇත්තටම ලොකු භක්තියකින් සැමරියයුතු බෞද්ධයන්ගේ ප්‍රමුඛතම ආගමික උත්සවය වුනත් අපේ රටේදී වෙසක් කියන්නේ සැණකෙළියක්... අවාසනාවන්ත තත්වයක් වුනත් නිවැරදිකල නොහැකි ලෙස මේක වර්ධනය වෙලා...

සතර අත දිදුලන විදුලි බුබුළු.. කන් බිහිරි කරවන නලා හඩවල්... වෙස් මුහුණු දමාගත් තරුණියන්, ළමුන්... බෙර ගසමින් සින්දු කියමින් වාහනවල හෝ පයින් යන නඩ... ගැහැනුන් මෙන් ඇද නටන තරුණයන්... මේවා තමයි අපේ රටේ වෙසක් උත්සවට අනන්‍ය ලක්ෂණ.... අද ඊයෙක නෙමේ අනාදිමත් කාලයක ඉදන් මේවා පැවැත එනවා... ඉස්සර කරපු ගෝනි එළුවා සෙල්ලම ඔබ ආස ඇති.. හිස නැති කඳ.. නාග කන්‍යාවී වගේ දේවල් අදටත් දැක ගන්න පුළුවන්.... ඒ වගේම මෑතක සිට තරුණියන්ද වෙසක් එකට විකාර කරන්න පටන් අරන්... විදේශ විදි සැණකෙළිවලදී භාවිතා කරන මුහුණේ භාගයක් පමණක් වැසෙන වෙස්මුහුණු පැළදීම තරුණියන්ගේ ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්වෙලා තියෙනවා ගියවර වෙසක් උත්සවයේදී දැකගන්න ලැබුනා.....




බහුරු කෝලම් ඉවත දමා ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීමට මගකියන ඉතාමත් නිර්මල දහමක ප්‍රමුඛතම ආගමික උත්සවය... ඒම ආගමට දැඩිලෙස එරෙහි භාවිතාවක් තුළ සැමරීමට ඒම ආගමේ අනුගාමිකයන් කටයුතු කිරීම ඇත්තෙන්ම අවාසනාවන්ත තත්වයක්.. ඒත් අපි හැමෝම බලන්නේ විනෝද වෙන්න.. .මේක කියවන ඔබවත් ලියපු මමවත් වෙසක් දින හත සිල් ගැනීම සදහා යොදවන්නේ නැහැනේ... අපි හැමෝම විනොදවෙයි... කොච්චර දන්නවා වුනත් මම කරන දේ වැරදි කියලා විනෝදවීම සදහා ඇති අවස්ථාව මග හැරීමට මම සුදානම් නැහැ... සමහරවිට මේක කියවපු ඔබ මට බනිවී මම මහා අමනයෙක් කියලා.. නමුත් මම හදවතට එකඟව ඇත්ත කතා කරේ.... ඔබේ හදවතින් ඇහුවොත් ඔබට වැටහේවි ඔබත් මං තරම්ම අමනයෙක් බව.... වතුර තුවක්කු අරන් වතුර නොවිද්දට.. බොන්ගෝ ගහලා නැටුවේ නැති වුනාට.. ඔබත් වෙසක් දින තුළදී නව ගුණ වැල ගෙන අනිත්‍යය මෙනෙහි නොකරන බව මට විශ්වාසයි.... පොඩි පොඩි වෙනස්කම් තිබුනත් අපි හැමෝම එකම විදියටයි වෙසක් දිනය සමරන්නේ....

මේ අවාසනාවන්ත තත්වය වෙනස් කිරීමට ඇති හොදම විදිය තමයි වෙසක් පොහොය දින දෙක තුළ තොරණ සහ වෙසක් කලාප නොපවත්වා සිටීම.. එම දින දෙක ආගමික කටයුතු සදහා වෙන් කිරීම... අනෙක් දවස්වල තොරණ සහ වෙසක් කලාප පැවැත්වීම... ඒ ඇරෙන්න විකල්පයක් නැහැ... අවංකවම අපි වෙසක් සමරන විදිය ගැන තියෙන කලකිරිමටයි මේක ලිව්වේ.. දන්නවා කවදාවත් මේක වෙන්නේ නැහැ කියලා..... ඒත් මේ වැඩේ කරන්න පුළුවන් වුනොත්..............

නොලිමිට් යන උන්ට බිත්තර ගහන්න කාලේ නාස්ති කරන ඇයෝ මේවා ගැන හොයලා බැලුවනම්... ඇත්තටම අම්බයන්ගෙන් බුද්ධාගම බේරගන්න කලින් අපේම අයගෙන්, අපෙන්ම බුද්ධාගම බෙර ගන්න කවුරු හරි ඉදිරිපත් වෙනවනම් මේ මදාවියත් බොක්කෙන්ම සප් එක දෙනවා........

---------------------------------------------------------------------------------------------------
ප.ලි 

# කොළඹ තියෙන දන්සල්වලින් සියට අනු නවයකම මගඩි ගහනවා කියන එකත් මට විමල් විරවංශ වගේ පපුවට ගහගෙන කියන්න පුළුවන්කම තියේ.. ඒක මං හොදින්ම දන්නා දෙයක..අපිත් ඕනතරම් මගඩි ගහලා තියෙනවා වගේම සමහර වෙලාවට අතේ තියෙන සල්ලිත් වියදම් කරන් දන්සැල් දීලා තියෙනවා කියලත් කියන්ට ඕනි :)

# අක්කේ, නංගියේ, නැන්දේ

වෙසක් බලන්න යද්දී දැඩි ලෙස ඇඟ පසඟ පෙනෙනා හෝ කාමුක හැගුම් උත්දීපනය වෙන ආකාරයේ ඇදුම් ඇදන් යන්න එපා.. ඒකෙන් ඔබටත් වඩා ඔබ සමග යන පිරිමි පාර්ශවයේ පුද්ගලයන් අපහසුතාවයට පත්වෙන්න පුළුවන්.... විස්සක තිහක කොලු රංචුවක් හමුවේ ඔවුන්ව නපුන්සකයන් කරන්න එපා. ඔබේ අඟ පසඟ පෙන්විය යුතුඅයට පෙන්විය යුතු තැන පෙන්වන්න ( ළමා සාරි ඇදන් යන්ට කිව්වා නෙවේ ඈ.. ඔය ඕගොල්ලොන්ට තියෙන්නේ ඇදුම් හැටහුටාමාරක්... ආත්මගරුත්වය රැකෙන ලස්සන ඇදුමක් අදින්න )

# මේ අර අංකල්ගේ කොලම කියලා තිබ්බ බ්ලොග් කෑල්ලම තමයි දරුවනේ... ආපු ගියපු දරුවෝනම් බලනවා ඇති මේ මොන අටමගලයක්ද වෙලා තියෙන්නේ කියලා... තොරණේ විස්තර පස්සේ කියන්නම්... අදට මේ පොස්ට් එක ගැන හිතෙන දෙයක් කියලා යන්ටකෝ :))
 

15 comments:

  1. අනෙ අපිනං පොඩි අහිංසක දන්සලක් දෙනෝ පොසොන් එකට කැළණියේ..
    ඇවිත් යන්න එන්ඩලා....

    ReplyDelete
    Replies
    1. එන්නං පුතේ.. අපිත් පොසොන් එකට අහිංසක දන්සලක් දෙන්ට හිතාන ඉන්නේ.. වෙසක් එකට බීසී

      Delete
  2. හ්ම්ම්..

    //වෙසක් බලන්න යද්දී දැඩි ලෙස ඇඟ පසඟ පෙනෙනා හෝ කාමුක හැගුම් උත්දීපනය වෙන ආකාරයේ ඇදුම් ඇදන් යන්න එපා// සිරා කතාව ඈ..

    ReplyDelete
    Replies
    1. වෙසක් දවසේ නෙවේ කොයි දවසේ උනත් දැඩි ලෙස ඇඟ පසඟ පෙනෙනා හෝ කාමුක හැගුම් උත්දීපනය වෙන ආකාරයේ ඇදුම් ඇදන් යන්න එපා. කලවා ත්‍රස්තවාදය අපේ රටට අනවශ්‍යයි.

      Delete
    2. අදහසක් දැක්වීම ගැන ස්තුතියි දරුවෝ දෙන්නටම :)

      Delete
  3. මම බැලුවා අන්කක් එක පාරටම කොල්ලෙක් වෙලාද කියලා :) ඇඳුම් ගැන දීපු උපදෙසනම් ඇත්ත තමා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දදුවේ.. එදා ඉදන්ම ගොඩවෙලා යනවට :)

      Delete
  4. මම නම් කතෝලිකයෙක් හැබැයි මම වුනත් ඔය කියන ෆන් ඔක්කොම අරන් තියෙනවා.ගමේ දන්සලේ සි ආර් පොත උස්සන් යන්නේ මන්.ඕවා පට්ටම අත්දැකීම් තමා.දන්සලෙන් යටි මඩි ගහන්නේ නැහැ ඒත් ඉතුරු වුනොත් අපි ඒවායින් දන්සල ඉවර වෙලා බොනවා.ඉතුරු වෙන කුළුබඩු වලින් අපි කෑම උයාගෙන කොල්ලෝ සෙට් එකම කනවා එක වතුර බාල්දියක් හරි ඇදලා සපෝට් එක දෙන සිරිපාලයව උනත් අපි අයින් කරන්නේ නැහැ.

    ඒ ඇරෙන්න ඔය දැන් කෙරෙන අනිත් වැඩ ගැන නම් අපි දන්නේ නැහැ අපේ ගමේ උන්ගේ එකමුතුවත් දැන් ටිකක් අඩුයි තමා ඒත් අපි අපේ පාඩුවේ දැහැමින් සෙමින් තාමත් දන්සල කරන් යනවා දවස් දෙකේම.

    ReplyDelete
    Replies
    1. දැන් කොයි ගමෙත් එකමුතුකම අඩුයි තමා පුතේ.. ඒවා ඉතින් සංවර්ධනයත් එක්ක හම්බවෙන තෑගි නෙව

      Delete
  5. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  6. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete

මෙන්න විශේෂ දීමනාවක් !!!
ළඟ එන වෙසක් උත්සවය නිමිත්තෙන් නොමිලේ කමෙන්ට් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

Related Posts Plugin for WordPress, Blogger...